Showing posts with label අහපු කතා. Show all posts
Showing posts with label අහපු කතා. Show all posts

මිතුරු සද!


මම කියවපු කතාවක් ඔයාලටත් කිව්වනම් හොදයි කියලා හිතුණා......ටිකක් දුක හිතෙනවා..කියවලාම බලන්නකෝ...

එංගලන්ත එක්තරා විශ්ව විද්‍යාලයක ශිෂ්‍ය නේවාසික කුටියක ලතින් ඇමරිකානු දෙරකට අයත් සිසුහු දෙදෙනෙක් ලැගුම් ගෙන සිටියහ.මේ දෙමිතුරෝ අතිශයින් හිතෛෂී වූහ.කෑවේ බීවේද එකටමය.

දෙදෙනා ම පාපන්දු ක්‍රීඩාවේ දක්ෂ වූ හෙයින් කිතර ඒ ක්‍රීඩා පුහුණුවීම්වල නිරත වූහ.සාමාන්‍යයෙන් ලතින් ඇමරිකානු ශිෂ්‍යයෝ සංගීතයේ දක්ෂයෝය.මෙයින් එක් සිසුවෙක් එක්වදෝරයෙන් පැමිණියෙකි.ඔහු ගිටාර වැයීමේ උපන් හපනෙකු විය.අනෙකාගේ මවු බිම වූයේ පේරු රටයි. ඔවුන් අයත් වූ දේශ අසල්වැසි රාජ්‍යය වූ අතර අදහස් හුවමාරුවට පොදු ස්පාඤ්ඤ බ‍ස තිබුණි.පාඩම් වැඩ වලින් වෙහෙසට පත් වන සෑම විටම එක්වදෝරයෙන් පැමිණි රබේර්තෝ ගිටාරය වයයි.එවිට පේරු දේශයෙන් ආ මයිකල් ගී ගයන්නට වෙයි.මයිකල්ගේ හඩ අතිශයෙන්ම මධුර එකකි.ඔහු හස්කි ශෛලයෙන් ගී ගැයීමේ ලා අති දක්ෂයෙකි.මේ දෙදෙනාගේ සංගීත කණ්ඩායමට “ලතින් ගී එකතුව” යන නම පට බැදුණි.‍

ග්වන්තනමේරා ස්පාඤ්ඤ ගීතය ඔවුන් අතර ජනප්‍රිය ම එකකි. ඔවුහු නිතර ම මෙය ගැයු හෙයින් ඔවුන් ඇසුරෙහි වූ ඉංග්‍රීසි සිසුහු පවා ඒ ගීතය ගැයීමට උගත්හ.ග්වන්තනමේරා උක් ගොවියෙකු ගයන ගීයකි.ඒ ඉතිහාසය ද දෙමිතුරෝ අන් අයට විස්තර කළහ.

කල් ගත වෙත්ම දෙදෙනාට දෙදෙනාගේ ඇසුර නැතිව ම බැරි විය. දෙදෙනා පිබිදුනේ ද,පාන්දරින් සරසවි බිම වෙත ගියේ ද යළි පැමිණියේ ද පාඩම් වැඩ කළේ ද එකට මයි.එය ලම්බාද්‍ර ගීතය ලොව පුරා ජනප්‍රිය වූ කාලයයි.මේ ගීතය ශ්‍රවණයට නිතර නතර මිතුරෝ මේ දෙමිතුරන්ගේ නේවාසික කුටියට ආහ.මයිකල් මියුරු හඩින් ගීය ගයද්දී රබේර්තෝ ගිටාරය වැයු හැටි මනමෝහණීය විය.

ලතින් ඇමරිකානු ශිෂ්‍යාවෝ ද නර්තනයේ ද වාදනයේ ද ගා‍යනේ ද උපන් හපනියෝය. ලම්බාද්‍ර ගීතය ගයන විට ඊට සරිලන නැටුමක් ඔවුන් නටති. ගා‍යනය ද නර්තනය ද වාදනය ද එක් තැන් වූ මේ එකතුව “ලතින් ඇමරිකානු විස්මය” නම් විය.

රබේර්තෝ ගේ සහ මයිකල් ගේ ප්‍රියතම පානය වූයේ කෝපිය.විශේෂයෙන් ශීත කාලයේදී ඔවුන් නිතර කෝපි පානය කළහ.ඔවුන්ගේ නේවාසික කුටියේ දෙදෙනාටම පොදු කුඩා විදුලි ලිපක් වූ අතර ඒ මත නිතර රත් වූ කේතලයද ඔවුන්ගේ පොදු අරමුදලින් මිලට ගත් එකකි.‍

නේවාසික කුටියට පොදු වූ රූපවාහිනිය නැරඹීම දෙදෙනාගේ ම ප්‍රියතම කටයුත්තකි.එහෙත් ඒ සදහා ඒ හැටි කාලයක් ඉතිරව ‍නොතිබුණේ,පාඩම් වැඩ කටයුතු අධික වූ හෙයින් හා විවේකය වැඩිපුර ම සංගීතය වෙනුවෙන් වැය කළ හෙයිනි.පේරු රට හා එක්වදෝරය අතර දේශ සීමා යුද්ධයක් පැන නැගීමේ පුවත එක් රැයකින් නේවාසිකාගාරය තුළ පැතිරී ගියේ කවුරුත් අපේක්ෂා කළ මොහොතක නොවේ. රබේර්තෝ ද මයිකල් ද මෙයින් වික්ෂිප්ත වූහ.එක්වර ම එක් රැයින් මේ දෙමිතුරෝ සතුරන් බවට පත්ව ඇත.

තමන්ගේ දේශ සීමාවේ අතොරක් නැති ව සිදුවන වෙඩි තැබීම් ද, පිපිරීම් ද පෙන්වා දෙන පොදු රූපවාහිනියේ තිරය දෙස දැන් ඔවුහු පුදුමයෙන් බලා සිටිති.දෙරට අතර විරසකය මහා වෛරයක් බවට පෙරැළිණි.

එහෙත් මේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ මෙතෙක් කලක් ළෙන්ගතුව සිටි මේ දෙමිතුරෝ තම තමා කෙරෙහි කෙසේ පැවතිය යුතුදැයි නොදත්හ.දෙදෙනා අතර කතා බහ ක්‍රමයෙන් අඩු විය.රූපවාහිනිය ද ක්‍රියාත්මක වූයේ ඉදහිට ය.එහෙත් දෙදෙනාට ම විදෙස් පුවත් නැරැඹීමට අවශ්‍ය විය.කිසිවිටක තනි ව කෝපි බී පුරුද්දක් නැති දෙදෙනා මෙසේ කතා බහ නැති වුවද එක් අයෙකු වෙනුවෙන් පමණක් කෝපි සෑදුවේ නැත. කෝපි සෑදුවේ කවුරුන් වුව ද අනෙකා වෙනුවෙන් ද කෝප්පයක් පිළියෙළ විය. එසේ බෙදා හදාගෙන කෝපි බොමින් ඔවුහු රූපවාහිනිය පෙන්වන යුධ පුවත් නැරඹූහ.

මේ අතර වරයේ මයිකල්ගේ අතින් කවියක් ලියවුණි. ඔහු එය රබේර්තෝට පෙනෙන සේ කුටියේ තබා තිබුණි.....

එක් ව කුස සතපනා

අහර ප්‍රිය වූ සබද

එකම මවු බසින්

සුබ උදෑසනක් පතන සද,

විදෙස් ගත වී සොදින්

අකුරු කරනා පිණිස

අසල්වැසි දෙරටකින් පැමිණි සද

මිනිස් පවුලේ ඉපිද

සරසවි තුරුළේ හැදින

අතුරු මිතුරු සද!

වාර විභාගය ළග ගැහෙන

පාපන්දු පිටියේ හිනැහෙන

හීතලට කෝපි කෝප්ප පුරා හිස්කොට

බ්ලැන්කෙට්ටුව යට ගුලි වන්නට

හොදටෝ ම ඉඩකඩ ඇති

අප හා

අප ගේ පුංචි නේවාසික කුටිය!

අම්මාගෙන් ලිපියක් නොලැබ

දුකින් මුමුණා

කුටියෙහි මුලු ගැසී තැවෙන සද

අහර ගෙනවිත්

සැනසිලි වදන් හා සමග

පිඩක් කොට හිනා මුවෙහි ලූ

මිතුරු සද!

මායිම් මැන බලා නැති

නේවාසික කුටියේ

‍යාබද යහනේ වැතිරී නිදන

මිතුරු සද!

දේශ සීමා විමසා බලා

ගෙල සිද හෙට නැසිය යුතු

සතුරු සද!!

(සත්‍ය කතාවක් )

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.